📌️F4 න් සෙත්සිරිපායට ගිය ඉංජිනේරු පීඨයෙන් බිහි වූ දිරිය වන්තයා
*පලමුවර F 4යි. දොලොස් වසරකට පසු මොරටු සරසවි ආ හැටි..
*උසස් පෙළ පංතියේ දී හම්බ වුනේ දරුවෝ වගේ ලමයි..
❤️❤️යසසිරි රංජිත් නාවල වත්ත මහතා.❤️❤️
යලිත් නිවැරැදි කරගත වේයැයි සැක උපදින තරමටම රංජිත්ට ජීවිතය වැරදී තිබුණේය.
අනියම් සේවකයකු විසින් සුලු රැකියාවක් කරද්දි නිරන්තරයෙන් ඔහුට ගැරහුම් අපහාස උහුලන්නට සිදුවුනේය. බසයේ තෙරෙපෙමින් උදේ හවස වැඩපොළට යද්දී "කොළඹ විශ්වවිද්‍යාලය" නාම පුවරුව නෙත ගැටෙන විට හැමදාමත් රංජිත් අතීතයට පියමැන්නේය.
"මට ඉගෙන ගන්න බැරිඋනා, දරුවන්ට කන්න අදින්න දෙන්න හරිහමන් රස්සවක් හොයාගන්න බැරිඋනා". මේ කල්පනාව නිසා රංජිත් සියදහස් වාරයක් හදවතින් කම්පා උනා.
එහෙත් ජීවිතය පුදුමාකාරය නියංසායෙන් පීඩිත ඉරිතලා කර්කශ වන මහ පොලොවට ඉක්බිති මහ හඩින් ගුගුරා මහ වැසි ඇද හැලෙන්නේමය. දෛවය සමග සටන් කොට ජය ලැබු යසසිරි රංජිත් නාවලවත්ත මහතාගේ ජීවිත කතාව කියන්නට මුල පිරැවේ මෙසේය.
1975 අවුරුද්දෙ ජනවාරි 27 වෙනිදා මම උපන්නේ නිවිතිගල පාතකඩ කියන ගමේ, අපේ තාත්තා ඒ කාලේ පෑබොටුව රාජ්‍ය වතුයායේ සහකාර ක්ශේත්‍ර නිලධාරී තනතුරක් දැරුවා.මම සාමාන්‍ය පෙළ විභාග කලේ ඇහැලියගොඩ මද්‍ය මහා විද්‍යාලයෙන්. 1990 අවුරුද්දෙ සාමාන්‍ය පෙළ විභාගයෙන් මම විශිෂ්ඨ සම්මාන හතරකුත්, සම්මාන හතරකුත් ලැබුවා. ඒ කාලේ හැටියට ඒක සෑහෙන්න හොද ප්‍රතිඵලයක්. "අපේ රංජිත් කොල්ලා ඉගෙන ගන්න හරි දස්සයා"කියලා එදා අපේ තාත්තා අපේ තාත්තා සතුටු වුනු හැටි මට තාම මතකයි.
සාමාන්‍ය පෙළ සමත්ව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරුවේ,සාමාන්‍ය පෙළ උපරිමයෙන්ම සමත් උනු නිසා ගමේ හැමෝම මට කියුවෙ ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න කියලයි.මම උසස් පෙළ ගණිත අංශය තෝරගත්තා. ඒත් මගේ උනන්දුව තිබ්බේ ටික දවසයි.
කතාව කියන්නට මුල පිරූ වේගය ටිකෙන් ටික මන්දගාමී වන බව මට හැගේ. එකිනෙක ගලපාගත නොහුනු ජීවිතයේ මුල මැද අග ගලපාගන්නට ඔහු උත්සහ දරතැයි මට හැගේ.
උසස් පෙළ සාමාර්ථ F4යි.
ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න පටන් ගත්තට ටික දවසකින් මම වෙනස් මනුස්සයෙක් උනා. ගණිතයට වඩා මම සංගීතයට ආදරය කලා. ඊටත් වඩා යලුවන්ට ආදරය කලා.යාලුවෝ එක්ක රෑට "සංගීත" බලන්න ගියා. යාලුවොන්ගේ සංගීත කණ්ඩායමක් තිබුනා. ටික කාලෙකින් මගේ ජීවිතේ උනේ ඒ සංගීත කණ්ඩායමේ ගිටාර් ගහන්න එකතුවීමයි.
ඔහොම කාලය ගෙවිලා ගිහින් මට උසස් පෙළ අමතක වෙලා ගියා. ඒත් ගෙදර මිනිසු රවට්ටන්න මම විභාගෙට ගියා.ප්‍රතිඵලය f4යි. ඒ කියන්නේ වැඩ හතරම අසමත්. මම නම් ඒ බව කලින්ම දැනගෙන ඉදියා. ඒත් තාත්තා මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉදපු තරමට f4යි කියලා කියන්න මට පුලුවන් කමක් තිබුණේ නෑ. පත්තරේ මේ ලිපිය පලවනතුරැ අපේ ගෙදර අය හිතාගෙන ඉන්නෙ මට 1993 උසස් පෙළෙන් එස් සාමාර්ථ 2යි ලැබුනෙ කියලා. විභාගේ ෆේල් වෙලා යාලුවෝ එක්ක සිංදු කිය කිය ඉදියට කවුරැත් කන්න අදින්න දෙන්නැති බව මට තේරෙන්න ගත්තා. ඒත් ඒ වෙනකොට මට පරාද වෙලා ඉවරයි. විභාගෙන් f4ක් ගත්ත මට කිසිම තැනකින් රස්සාවක් හොයාගන්න බැරිඋනා.
ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑ.නොදැනුවත්වම මම මහා ලොකු ඉලන්දාරියෙක් වෙලා. එදාවේල හොයා ගන්න රෙදි විකුණයි.
රංජිත් සල්ලි හොයාගන්න පටන් ගත්තෙ කොහිමද?ඔහුගේ කතාව ගලා යන්න මන පොඩි තල්ලුවක් දුන්නා.
මම නුගේගොඩ පමුණුවෙන් අඩුගානට සල්ලි දීලා ඇදුම් ටිකක් ගත්තා. ලොකු බෑග් මල්ලකට ටී ෂර්ට්ස්, කොට කලිසම් දාගෙන දුෂ්කර පැති වලට අරන් ගියා.තණමල්විල ලුනුගම්වෙහෙර අකුරැස්ස වගේ පැතිවල ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඒ ඇදුම් විකිණුවා. ඒත් අපේ ගමේ අයට මන ඒ ගැන කියුවෙ නෑ. අපේ තාත්තා ගමේ ජීවත් උනේ බොහෝම නම්බුකාර විදියට ඒ නිසා ගෙයින් ගෙට ගිහින් ඇදුම් විකුණන එක ගමට රහසක් විදියට තියා ගත්තා.
" අවුකාෂ්ටකේ දුක් විදලා මට ජීවිතේ එපා උනා". මට මං ගැන ලොකුතරහක් ඇති උනා. දුකයි වේදනාවයි ජීවිතේ අරක්ගෙන තිබුනා.
හැමදාම මේ වැඩේ කරන්න බැරි නිසා 1997 මම ගමට ගිහින් සපුගස්කන්ද ( තරැණ සේවා සභාවට අනුබද්ධ ආයතනයක) ඉලෙක්ට්‍රොනික් කාර්මික පුහුණුව ලැබුවා. ජීවිතේ කොහොම හරි ගොඩ යන්න ඕන නිසා කැපවීමෙන් මම ඒ දේවල් ඉගෙන ගත්තා.
ඊට පස්සේ මට ඒ හරහා පුංචි රස්සාවක් ලැබුනා. පෞද්ගලික සන්නිවේදන සමාගමක කැඩුනු ෆැක්ස් මැශින් අලුත්වැඩියා කරන්න. ඒත් එතන සුලු වැරැද්දට පවා මම බැනුම් ඇහුවා.
මම නිවැරැදි උපදෙසක් දුන්නත් ඔවුන් මාව උපහාසයට ලක් කලා. "තමුසෙ හරි උගතෙක් වගේනේ අපිට උපදෙස් දෙන්නෙ" කියලා හැමෝම මට හිනා උනා. කොහොම හරි මට ඒ රස්සාව නැතිවුණා.
ජීවිතේ සරතැස නිවා ගන්නට කසාදයක්. 1998 දි තමයි මට රෝෂිණී හම්බවෙන්නෙ. එයත් දුප්පත්කමට ගමක හැදුන ගෑනුලමයෙක්. 1999 අවුරුද්දෙ මම හිතුමනාපෙට එයාව බැන්දා. ඉගෙන ගන්නෙ නැතුව අපිට ලැජ්ජ කරපු එකා උඹ තවත් අපිට අපහස කරනවද කියලා තාත්තා මාව ගෙදරින් පිටමං කලා.තාත්තා සල්ලි ටිකක් අතට දීලා අපි දෙන්නට කුලියට ගේකට යන්න කියුවා.
පැදුරු හට්ටි මුට්ටි දෙක තුනකුත් කඩෙන් අරං අපි දෙන්නා කුලී කාමරේක පදිංචියට ගියා. 2000 අවුරුද්දෙ තමයි අපේ ලොකු පුතා චින්තක උපන්නේ.
ඔහු අතීතය සිහිපත් කරයි.අග මුල පැටලුනු නූල් පන්දුව තාම එසේය. ඒ අතරේ එදිනෙදා ගතමනාව අතට ලැබෙන රැකියාවල් කිහිපයක්ම කලා. ඔය අතරේ අපේ දෙවනි පුතත් ලැබුනා. එයාගෙ නම තීක්ෂණ. දරැ දෙන්නෙක් එක්ක අපි දෙන්නා හරියට දුක් වින්දා.
අනේ මං එදා ඉගෙන ගත්තනම් මේ හැමදේම මීට වඩා වෙනස් නේද කියලා හිතුනු වාර ගනන අනන්තයි. මාත් එක්ක උසස් පෙළ පංතියේ ඉගෙන ගත්තු යාලුවෝ උපාධිය අරං ඉහළ රැකියාවල් කලා.මම ඒ අය යටතේ සුලු වැඩ කලා.
ජීවිතය වෙනස් කල ගුරුවරයා මුනගැසේ...
රංජිත් ගේ ජීවිතය වෙනස් කල ගුරුවරයා මුනගැහුනේ මේ කාලයේදී ම නේද? මම ප්‍රශ්න කලා.
දවසක් දා මං රත්නපුර ඉදන් කොළඹ එනකොට අතරමගදී මට දයාරතන සර්ව මුනගැහුනා.උසස් පෙළ කරන මුල් කාලේ දයාරත්න සර් මාව දක්ෂයෙක් විදියට අදුන ගෙන තිබුනා. ඒත් මගේ ජීවිතය අකාලෙයේ විනාස වෙලා තිබුනු හැටි දැකලා දයාරතන සර් පුදුම උනා. එදා රත්නපුරේ ඉදන් කොළඹට එනකම් සර් මාත් එක්ක කතාකර කර ආවා.
"රංජිත් ආපහු උසස් පෙළ කරන්න මගේ ලගට පංති එන්න" සර් මට කියුවා. ඒත් ඒ වෙනකොට මට දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. මුලින් මට ඒක විහිළුවක් කියලා හිතුනේ. පස්සේ මම ඒ ගැන කල්පනා කලා.
පහුවදාම මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගිහින් ඒ මහත්වරු එක්ක කතා කලා.මට උසස් පෙළ කරන්න පුලුවන්ද කියලා අහන්න.මම කසාද බැදලා දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලත් කියුවා. "ඒවා අපිට අදාල නෑ මේ පාර උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණු තිබ්බොත් ඔයාට උපාධිය කරන්න පුලුවන්". කියලා ඒ අය මට කියුවා. දයාරත්න සර් ට පින් දිදී මම දයාරතන සර් ලගටම ඉගෙනගන්න පංති ගියා.
නොමිලේ සහභාගී වෙන්නපුලුවන් තවත් පංති කිහිපයක්ම සර් මට හොයලා දුන්නා..
ආපහු ජීවිතේ පටන් ගන්න මම පංති යනවා කියුවම රෝෂිණී මට ඒ හැමදේටම මට උදවු කලා. අපි දෙන්නා පහුගිය කාලේ අමාරුවෙන් ඉතුරු කරපු රුපියල් එක්ලක්ෂ විසිදහසක් සල්ලි බැංකුවේ තිබුනා.අවුරුදු දෙකක් උසස් පෙළ කරද්දී මහන්සි වෙනකොට ඒ සල්ලි අපි දෙන්නටයි දරුවො දෙන්නටයි ඇති වෙයිදැයි කියලයි අපි දෙන්නා මුලින්ම හිතුවෙ. රෝෂිණී හැම සතපහක්ම පරිස්සමින් ඉතුරු කලා. පංති යන නිසා රස්සාවක් කරන්න වෙලාවක් තිබුණේ නෑ.
මම උසස් පෙල පංති යනකොට ඒ පංතිවල හිටියේ මගේ අක්කගේ දරුවන්ගේ වයසේ ලමයි.
මට ඔවුන්ව දැනුනේ මගේ දරුවෝ වගේ.ඒ දරුවෝ මුලින් මා එක්ක කතාකලේ වත් නෑ..ඒත් පස්සේ ටිකෙන් ටික ඒ ලමයි එක්ක එකතුවෙලා පාඩම් කරන්න පටන් ගත්තා.
තරුණ ලමයිට වගේ කිසි දෙයක් මට එක පාර මතක හිටියේ නෑ.පංති ඉවරවෙලා ගෙදර එන්නේ හවස 7.30ට.පැය 3ක් නිදාගෙන අවධිවෙලා ආපහු එලිවෙනකන් පාඩම් කලා.සමහර දවස් වලට මම ගෙදර එනකොට දරුවෝ අසනීප වෙලා.ඒ අයට මගේ ආදරේ අඩුවක් දැනෙන්න ඇති.දරුවොත් එක්ක වෙනදා වගේ විනෝදයෙන් දවස ගෙවන්න බැරි උනා.රෝශිනී හැමදේම දරාගෙන මං වෙනුවෙන්ම කැපවීගෙන හිටියා.
සල්ලි ප්‍රශ්න අනන්තවත් තිබුනා.ඒත් මම ණය වුනේ නෑ..තාත්තයි පුතයි දෙන්නම ඉස්කෝලේ යනවා කියලා මිනිස්සු මට හිනා උනා.සල්ලි හොයන්න මම පොඩි බිසනස් එකක් පටන් ගත්තා..කදුරට සබන් කියල අලුත් සබන් වර්ගයක් විකුනනවා.කොලබින් තොග මිලට ලොකු සබන් පෙට්ටි දෙකක් බස් එකේ ගෙනල්ලා,බයිසිකලේ බැදගෙන ගෙවල් ගානේ සබන් විකුනන්න අරං ගියා.ලාඹහ සත පනහයි හෝ සත හැටයි.රෝශිනී ගේ උදව් නොලැබුනානම් අද මම මෙතන නෑ.
රංජිත් සතු අසමාන අධිෂ්ඨාන ශක්තිය ගැන මම මවිත වීමී.ආදරනීය බිරිද ඔහුගේ ඉලක්කය ගැන තැබූ විශ්වාසය කෙරෙහි ඊටත් වඩා මවිත වීමි.සිය දුශ්කර උත්සාහයේ විස්තර කීමට නැවතත් හඩ අවධි කලේය.
සිහිනය සැබෑ කරමින් මොරටුව සරසවියට...
මම සෑහෙන්න මහන්සි වෙලා උසස්පෙල විභාගය ලිව්වා..මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබුනා.කන්දක් නැග්ගොත් පල්ලමක් ලැබෙනවාමයිලුනේ..සිව් අවුරුදු විද්‍යාවේදි ගෞරව උපාධිය සදහා මොරටුව සරසවියෙන් ලිපියක් ලැබුන දවස මට ජීවීතේට අමතක වෙන්නේ නෑ..
මගේ පාඨමාලාව උනේ ප්‍රවාහන හා සැලවුම් කලමනාකරණය.2005 මැයි මාසයේදී මම විශ්වවිද්‍යාලය ට ඇතුල් උනා.මුලින්ම මුහුන දෙන්න උනේ නවක වදයට..මට නවක වදය දෙන්න ආවේ මගේ දරුවෝ වගේ පොඩි ලමයි.ඒ නිසා මට කිසිම කරදරයක් උනේ නෑ..විශ්වවිද්‍යාලයේදී මට භාවිත කල නම වුනේ ලොකු අයියා.මම කසාද බැදපු කෙන්ව්ක්. ලමයි දෙන්නෙක් ඉන්නවා තුන්වැනි දරුවා ලැබෙන්න ඉන්නවා කිව්වම පුදුම උනා.ලමයි ඉන්න තාත්තා කෙනෙක් කැම්පස් ඇවිල්ලා කියන ආරංචිය එක පැයක් ඇතුලත විශ්වවිද්‍යාලය පුරාම පැතිරිලා ගියා.අලුත් ලමයි පරන ලමයි ගොඩාක් ඇවිත් මාත් එක්ක කතාබහ කරලා ගියා.
විශ්වවිද්‍යාලය තුල පූර්ණ කාලිනව ඉගෙන ගන්න වුන නිසා රස්සාවක් කරන්න උනේ නෑ.ඒ නිසා ගෙදරට සල්ලි ප්‍රශ්න අනන්තවත් තිබුනා.
යාලුවෝ මට නිරන්තරයෙන් උදව් කලා.මට ශිෂ්‍යත්ව පවා ලැබුනා.මම උපරිමයෙන් ම ලැබෙන සල්ලි ඉතුරු කරලා ගෙදරට දුන්නා.විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්‍යමන්ඩය පවා මට විටින් විට අතට සල්ලි දීලා තියෙනවා.රෝශිනී පුදුමාකාර අරපිරිමැස්මෙන් ගෙදර දරුවන්ගේ වැඩකට යුතු කලා.විශ්වවිද්‍යාලයේ කෑම හරිම ලාබයි.උදේ කෑම එකක් රු.14/-යි.දවල් කෑම එකක් රු.20/=යි.සල්ලි ඉතිරි කරන්න ඕන නිසා මම උදේම කෑම පාර්සල් දෙකක් අරන් එකක් දවල්ට කන්න තියාගත්තා.
එහෙමත් අතේ සල්ලි නැත්නම් යාලුවෙක් කෑම පිගානක් ගන්නකන් ඉදලා කාල ඉවර උනාට පස්සේ ඒ පිගානට අඩුවක් බෙදාගෙන කෑවා..අඩුවක් කාලා වතුර එකක් බිව්වම බඩගිනි නැතිවෙලා යනවා..
මමනම් මෙහෙම හරි කනවා..ගෙදර දරුවෝ කොහොම කනවා ඇතිද කියලා මතක් වෙනකොට උහුලගන්න බැරි වේදනාවක් ඇතිවෙනවා..
විශ්වවිද්‍යාලයේ ඔහේ වැවිලා තිබුන මංඣොක්කා ගස්වල දලු කඩාගෙන ගිහිල්ලා දරුවන්ට මැල්ලුමක් හදලා දෙන්න කියලා කිව්ව දවස් අනන්තවත් තිබුනා.
රංජිත් ගේ කතාව හිත පතුලටම කෙරෙන ආමන්ත්‍රනයක් යැයි සිතේ..ඔහුගේ ඒ කතාව ඇසීමෙන් හිතේ රැදි තෙතමනය නෙතට ලන්වන බවක් දැනේ..
දුප්පත්කම නිසා උගත්කමට වැට බදින්න මට ඕන උනේ නෑ..රෝශිනී නිතරම කිව්වේ පැටව් තුන්දෙනාව බඩගින්නේ තියන්නේ නෑ..ඔයා හොදට ඉගෙනගන්න කියලයි.
සරසවියේ බෝතල් පත්තර කාරයා..
විශ්වවිද්‍යාලය තුල වැඩිපුර හිටියේ පිරිමි ලමයි නිසා ඇතැම් අය මත්පැන් වලට පුරුදු වී සිටියා.විශ්වවිද්‍යාලයේ ගස් යට එයාලා බීලා දාලා ගිය වීදුරු බෝතල් ගොඩ ගැහිලා තිබුනා.මම කාටවත් නොපෙනෙන්න කලු කවරයක් අරන් ඒවා එකතු කරලා වරින් වර බෝතල් පත්තර කඩවලට විකුනුවා.එයින් සතියකට වරක් පොඩි මුදලක් සොයාගන්න මට පුලුවන් උනා.ඒත් ඒ බව ටික දවසකින් විශ්වවිද්‍යාලයේ ලමයි දැන ගත්තා..ඒ බව දැනගෙන සමහරු මට උදව් කලා..සමහරු බෝතල් පත්තර කාරයා කියලා තවත් නමක් කවට නමක් දාලා තිබුනා.
2010 අවුරුද්දේ සැප්තැම්බර් 23 මම B.Sc උපාධිය හිමිකරගත්තා.මගේ හීන හැබෑ උනා..
විශ්වවිද්‍යාලයෙන් පිටවනවාත් එක්කම මාව ඇතුල් කරගන්න ආයතන ගනනාවක් බලාගෙන හිටියා.එදාවගේ තුට්ටුවට දෙකට නොවෙයි.අද මම හොද පඩියක් ලබන උසස් රැකියාවක් කරනවා.සෙත්සිරිපායේ මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ ගෞරවනීය මම රැකියාවක් කරනවා.මගේ තනතුර ප්‍රවාහන පද්ධති විශ්ලේෂක.මේ ජීවිතේ ගැන මම පුදුම තෘප්තියකින් ඉන්නේ.අද මම මිනිස්සු න්ගේ ගෞරවය දිනාගන්නේ,එදා මම නොසැලෙන අධිශ්ඨානයෙන් ඉගෙනුමට කැපවුන නිසයි.
රංජිත් ආඩම්බරකාර සිනහවකින් මුව සරසා ගත්තා..
ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වනේ තමාට හැකි යැයි සිතන මිනිසය.